You are here

ලෞකික ලෝකය සහ ලෝකෝත්තර භාවය

Dr.Ravi-07.09.2013
ලෞකික ලෝකය සහ ලෝකෝත්තර භාවය

ලෞකික ලෝකය සහ ලෝකෝත්තර භාවය යනු අවිද්‍යාවේ සහ විද්‍යාවෙහි හේතුන්ගෙන් පටිච්ච සමුප්පන්නවන ප්‍රතිවිරුද්ධ අන්තයන් වේ.

ප්‍රති විරුද්ධ බව යනු සාපේක්ෂ තාවයක් පාදකවූ බෙදීමක අන්ත දෙකකි..... එනමුත් ලෝකය තුල ප්‍රති විරුද්ධ අන්තයන් ලෙස පෘතග්ජන මනසට ගෝචර වන සාමාන්‍ය පරස්පරන් තුල සමානකම්ද පවතී. ඒ....... ප්‍රති විරුද්ද දේ පිහිටි භුමියෙහි ඇති පොදු සමාන කම් ප්‍රතිවිරුද්ධ තාවයන් හා භද්දව පවත්නා බවෙහි ඇති සමානතාවයයි. ඒ හෙයින් ලෝකය තුල හමුවන සෑම ප්‍රති විරුද්ධ ධර්මතාවයකම, අන්තයන් මනෝඝෝචර බවකින් යුතුවේ.

එනමුත් ලෞකික ලෝකය තුල සිට ලෝකෝත්තර භාවය යන ප්‍රති විරුද්ද අන්තය පෘතග්ජන මනසට ඝෝචර නොවන්නේ එය සමාන භූමියක් තුල සාපේක්ෂ තාවයක් මතින් ගොඩනැගෙන අන්ත දෙකක් නොවීමේ හේතුවෙනි. අවිද්‍යා සම්ප්‍රයුක්ත ආයතනයන්ගෙන් විද්‍යාමාන වී පවතින ලෝකයක් තුලසිට අන් අන්තය දැකීමට එම අවිද්‍යාවම දුරු වියයුතු වීම එයට හේතුවයි.
ඒ හෙයින් සියලු භූමින්ගෙන් එතෙර වූ ලෝකෝත්තර අන්තය, ආයතනයන්ගෙන් හමුවන අවිද්‍යාව සම්ප්‍රයුක්ත ලෝකයක් සහිතව සසර සැරිසරනා සත්වයා හට කිසිවිටක හමු නොවුයේ, දුරුකළ යුතු අවිද්‍යාවක සේයාවකුදු දැනගැනීමට මාර්ගයක්, ධර්මතාවයක් උන්හට සසරෙහිදී හමු නොවූ හෙයිනි.

සියලු භූමින්ගෙන් එතෙර වූ ලෝකෝත්තර බව සත්වයාහට මතුකර දිය හැක්කේ ද සියලු භූමින් පරයාගිය මනෝභාවයකට පිවිසි උත්තමයකුහටම පමණකි. එනම් එවැනි තත්වයකින්, කල්ප කෝටි ගණනකට වරක්, මහාකරුනාවෙන්, සත්වයා දුකින් මිදවීම පිණිසම ලොව පහළවන සම්මා සම්බුධුවරයකු හටම පමණකි.

බුද්ධෝපගත කාලයක ඉපිද, එම දුර්ලභ දහම හමුවී, උකහාගැනීමට අවැසි හේතුප්‍රත්‍යයන්ගෙන් සම්පුර්නව සිටිනා අප වෙත
මිල කල නොහැකි මෙම දහම ඒ මහා බුදු කරුනාවේ මහිමයෙන්, උතුම් කල්‍යානමිත්‍රන් මගින් අදටත් අපවෙත නොමිලයේ ගලා ඒ.
එම දහම උකහා ගත්තේනම්, අප කිනම් සැබෑ භාග්‍යවන්තයින් වන්නේද?

මෙයද ඒ උතුම් කල්‍යාන මිත්‍රයකු සැදැහැ සිතින්, දහම අපවෙත ඝෝචර කිරීමට දරනා උත්සාහයකි.

ඒ උතුම් කල්‍යාන මිත්‍රයානන් ගේ ධර්ම ඥානය තවතවත් වැඩේවා...!
සියලුදෙනාගේ දහම් ඇස පෑදෙවා....!

තෙරුවන් සරණයි

Date of recording: 
07.09.2013
Tags: